උද්‍යාන නිර්මාණකරනය

10 landscaping 03තම මූලික දැනුමෙන් මෙම නිර්මානකරණයට ප්‍රවිශ්ඨ විය හැකි නමුත් ප්‍රායෝගිකව අධ්‍යයනය කිරීම තුළින් නිවැරදිව මෙම කාර්යය ඉටුකර ගත හැකි අතර එය පරිසරයේ මනා පැවැත්මට බෙහෙවින් බලපානු ඇත.

අප අවට පරිසරය ස්වභාවධර්මයට ගැළපෙන අයුරින් ස්වභාවික පරිසරයේ පවතින ජීවි හා අජීවි හෙවත් ශාකමය ද්‍රව්‍ය සහ අප විසින් නිර්මාණය කරන ලද අජීවි ද්‍රව්‍ය උපයෝගි කරගෙන ඉතාමත් අලංකාර ලෙස කලාත්මකව, විද්‍යාත්මකව, මූලධර්මානුකූලවල ඇසට ප්‍රියමනාප අයුරින් නිර්මාණය කර ගැනීම උද්‍යාන නිර්මාණකරණයයි.

ස්වභාවික පරිසරයේ පිහිටි අලංකාර සාධක හා පාරිසරික සාධක සංකලනය කරමින් මෙම නිර්මාණ ක්‍රමවේදය මිනිසා පරිහරණය කරන භූමියට යොදා ගැනීමෙන් මානව ප්‍රජාවට හිතකර පරිසරයක් උරුම කරදීම ඉතා යහපත් ක්‍රියාවලියකි. තම උද්‍යානය නිර්මාණය කරගැනීම තුළින් තම මානසික තෘප්තිමත්භාවය ළඟා කරගත හැකි වීම යහපත් ජීවන පැවැත්මක් උදෙසා මනා පිටුවහලකි. එය මිල මුදලින් මැනිය නොහැක. වර්තමානයේ බොහෝ දෙනෙකු උද්‍යාන නිර්මාණය කෙරෙහි අවධානයක් යොමු කර තිබීම සතුටට කරුණකි. නිසි පරිදි සැලසුම් කරන ලද උද්‍යානයකින් ලැබෙන්නා වූ ප්‍රයෝජන අපමණය.තුරුලතා සහිත පරිසරයක් සමඟ ගත කරන්නාවූ ජිවිත ඉතාමත් සුවදායකය, සුන්දරය, මෙය හුදෙත්ම විනෝදාංශයක් ලෙස නිරත විය හැකි කාර්යයකි. තම මූලික දැනුමෙන් මෙම නිර්මාණකරණයට ප්‍රවිශ්ඨ විය හැකි නමුත් ප්‍රායෝගිකව අධ්‍යයනය කිරීම තුළින් නිවැරදිව මෙම කාර්යය ඉටුකර ගත හැකි අතර එය පරිසරයේ මනා පැවැත්මට බෙහෙවින් බලපානු ඇත.

ඔබ විසින් ගොඩනගන ලද නිවසට හෝ ගොඩනැගිල්ලට භූමි නිර්මාණයක් සැලසුම් කිරීමට අවශ්‍යතාවයක් ඇත්නම් ඒ සඳහා මූලධර්මානුකූලව සැලසුම් කිරීමට මෙම ලිපිය පිටිවහලක් වනු ඇත.

උද්‍යාන නිර්මාණකරණය යනු කලාවකි, චිත්‍රයකි. තම සිතෙහි මතුවන සිතුවිලි ප්‍රායෝගිකව ක්‍රියාවට නැගීමකි. පරිසරයට සංවේදී නිර්මාණශීලි පුද්ගලයෙකුට ඕනෑම නිර්මාණයක් සැලසුම් කළ හැකියි. ඔහුට අවශ්‍ය වන්නේ නිවැරදි මඟ පෙන්වීමයි.

 

උද්‍යාන නිර් මාණ මූලධර්|

 

ඕනෑම නිර්මාණයක් හෝ ක්‍රියාවලියකදී භාවිතා කළ යුතු වැදගත්ම සාධකය වන්නේ මූලධර්ම භාවිතා කිරීමයි. උද්‍යාන නිර්මාණ සැලසුම්කරණයේදී උද්‍යාන නිර්මාණ මූලධර්ම ලෙස පහත සඳහන් කරුණු උපයෝගි කර ගැනීම ඉතාම වැදගත් වේ.

10 landscaping 03

අරමුණ:

නිර්මාණකරණයේදී අදාළ සේවා දායකයාගේ අවශ්‍යතාව මත එහි අරමුණට ගැළපෙන ලෙස භූමිය සැලසුම් කිරීම මෙහිලා ඉතාම වැදගත් වේ. උද්‍යාන අංග තීරණය කිරීමේදී අදාළ කාර්ය හා අවශ්‍යතාව ඉටු වන ලෙස මෙම නිර්මාණය සැලසුම් කළ යුතුව ඇත.

විවිධත්වය:

උද්‍යාන නිර්මාණ සැලසුම් කිරීමේදී විවිධ අංග එනම්, දෘඩ අංග හා මෘදු අංග භාවිතා කිරීම ඉතාම වැදගත් කාරණාවකි. මෙහිදී සේවාදායකයාට එම නිර්මාණය මනාව පිළිබිඹු වීම සඳහා විවිධත්වය භාවිතා කරමින් සැලසුම් කිරීම ඉතා වැදගත් වේ. මෙහිදී තෝරා ගන්නා අංග එනම් මල් පාත්ති, මල් ගොමු, තෘණපිටි, විවිධ ශාක, අලංකරණ මල්බදුන්, පොකුණු, දියඇලි, වැනි අංග වලින් විවිධත්වය ලබාදිය හැක.

ඒකීයත්වය:

මුළු උද්‍යානයම ඒකකයක් ලෙස ගැලපීම මෙයින් අදහස් කෙරේ. තෝරා ගන්නා අංග එකිනෙක ගැලපී කලාත්මක හා සමතුලිත බවක් දැකගත හැකි අතර එමඟින් එහි වටිනාකම ඉහළ යනු ඇත.

සමබරතාව:

උද්‍යානයට තෝරා ගන්නා දෘඩ හා මෘදු අංග වල සමතුලිතාවය මෙයින් අපේක්ෂා කෙරේ. එහිදී ජ්‍යාමිතික හැඩ තල අනුව අංග තීරණය, ප්‍රමාණකරණය හා ගැලපෙන වර්ණ තෝරා ගැනීම තුළින් මිනිසාගේ දක්ෂ නිර්මාණකරණයන් ඉස්මතු කළ හැක.

පරිමාණය හා අනුපාතය:

උද්‍යාන නිර්මාණ මූලධර්ම වල ඉතාම වැදගත් හා අනිවාර්යෙන් සළකා බැලිය යුතු සාධකයක් ලෙස මෙය සැලකිය හැක. ඕනෑම නිර්මාණයක පරිමාණයක්, අනුපාතයක් තිබිය යුතුයි. උද්‍යාන අංග තෝරා ගැනීමේදී, පැළ වර්ග තෝරා ගැනීමේදී, හැඩ තෝරා ගැනීමේදී, උස තෝරා ගැනීමේදී වැනි විවිධ වූ කාරණා සඳහා මෙම මූලධර්ම ඉතාම වැදගත් වේ.

වර්ණ සංයෝජනය:

උද්‍යාන නිර්මාණකරනයේදී ගැළපෙන වර්ණයක් පිළිබද අවබෝධයක් ලබා ගනිමින් උද්‍යාන අංග හා පැළෑටි තෝරා ගත යුතුව ඇත. උණුසුම් වර්ණ හා සිසිල් වර්ණ ලෙස ශාක වල ස්වභාවික වර්ණයන් භාවිතා කරමින් සේවා දායකයාගේ ආශ්වාදය උදෙසා වර්ණ ගැලපීමට උපකාරි වන මූලධර්මයයි.

තාලය හා රිද්මය:

සැලසුම් නිර්මාණ ශිල්පියා විසින් ගෙවතු සැලසුම්කරණයේදී තම හිතැති රිද්මයන් භාවිතා කරමින් නිදහසේ පාරිසරික අගය වැඩි කිරීම හා එහි කලාත්මක බව උදෙසා රිද්මයානුකූලව අංග සංකලනය කිරීම මෙම මූලධර්මයේ වැදගත්කමයි. ස්වභාවික පරිසරයේ නොමැති මිනිසාගේ දක්ෂතාව සැලසුම් කරන තාලය හා රිද්මය මේ සඳහා උපයෝගි කර ගනී.

නිමාව:

උද්‍යානයක් සැලසුම් කර ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව එහි වටිනාකම පවත්වාගෙන යාමට තිබෙන එකම සාධකය නඩත්තුවයි. නිමාව යනු එම ක්‍රියාවලිය පවත්වා ගැනීමට භාවිතා කරන උපක්‍රමයයි. උද්‍යානයක පවතින දෘඪ හා මෘදු අංගයන්ගේ පැවැත්ම උදෙසා හා ශාක වල මනා වර්ධනය සඳහා මිනිසා විසින් සිදු කරන ප්‍රායෝගික ක්‍රියාවලියක් ලෙස මෙය හැඳින්විය හැක.

 

10 landscaping 03උද්‍යාන අලංකරණ ශාක භාවිතය

උද්‍යාන අලංකරණ කටයුතු වලදී පාරිසරික අගය වැඩි කර ගැනීමට වඩාත් අත්‍යවශ්‍ය සාධකය වන්නේ ශාකයි. උද්‍යාන නිර්මාණ පිළිබඳ උනන්දුවක් දක්වන එහි දෘඪ හා මෘදු අංග වඩාත් ඉස්මතු වන ආකාරයට නිර්මාණය සිදු කිරීමට උද්‍යාන පැළෑටි පදුරු, ගස් උපයෝගි කර ගනී.

උද්‍යාන අංග ලෙස නිර්මාණය කරන මල් පාත්ති, මල්ගොමු, මල් වැටවල්, තෘණ පිටි, විශාල ශාක, බිම් ආවරණ ආදි අලංකරණ අංගයන් සඳහා වැදගත් වනු ඇත. එම නිර්මාණය සිදු කරන ස්ථානයේ ස්වභාවිකව බලපාන පාරිසරික සාධක එනම් හිරුඑළිය, වර්ෂාපතනය, උෂ්ණත්වය, සෙවණ, ආර්ද්‍රතාවය ආදි කරුණු සලකා බලා නිශ්චිත ශාක කාණ්ඩය හඳුනා ගෙන භාවිතා කිරීම ඉතාම සුදුසු වේ. එසේම පාංශු පරිසරයේ ලක්ෂණ අනුවද සමහර ශාක වර්ග තෝරා ගැනීමේදී සැළකිලිමත් විය යුතුව ඇත.
විශේෂයෙන් උද්‍යාන පැළෑටි තෝරා ගැනීමේදී එය පරිසරයේ පවතින කාලය අනුව වර්ග කෙරේ. එනම් වාර්ෂික හා බහු වාර්ෂික ලෙස වර්ගීකරණය කෙරේ. සූර්යාලෝකය හොඳින් ප්‍රියකරන වාර්ෂික පැළෑටි වලින් උද්‍යානයේ විවිධත්වය සඳහා ප්‍රයෝජනවත් වේ. බහු වාර්ෂික ශාක තෝරා ගැනීම තුලින් නඩත්තු කටයුතු අවම කර ගත හැකි අතර දීර්ඝ කාලයක් අලංකරණය ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

එසේම ශාක සිටු වීමේදී විචිත්‍ර පත්‍ර ශාක භාවිතා කිරීමත් උද්‍යානයට යෝග්‍ය වේ. සමහර ශාක සූර්යාලෝකය ප්‍රියකරන අතර අනෙකුත් ඒවා සෙවණ ප්‍රියකරන විචිත්‍ර පත්‍ර ශාක වේ. අදාළ භූමියේ සූර්යාලෝකය ලැබෙන ස්ථාන වලට සුදුසු ශාක පඳුරු නිවැරදිව තෝරා ගැනීම තුළින් එහි වර්ණ විවිධත්වය නිර්මාණයට උපයෝගි කර ගත හැක. හොඳින් සූර්යාලෝකය නොලැබෙන සෙවණ ස්ථාන වලට පැළ තෝරා ගැනීමේදී විශේෂයෙන් සැලකිලිමත් වීම වැදගත් වන බවද සදහන් කරමි.
උද්‍යාන සැලසුම් කරණයේදී ඉතාම වැදගත් අංගයන් වන්නේ ශාක සිටුවීමයි. මෙම ශාක තීරණය කළ යුත්තේ ශාකය වැඩෙන උස හා අතු පතර විහිදෙන ප්‍රමාණය සළකා බැලීමෙන් පසුවයි. විශේෂයෙන් ගොඩනැගිලි ආසන්නයේ විශාල ශාක සිටුවීමේදී වඩාත්ම සැලකිලිමත් විය යුතුය. විශාල ශාක වල මල් පිපෙන වර්ග තෝරා ගැනීම නිර්මාණයේ අලංකාරයට බෙහෙවින් උපකාර විය හැක. සමහර ශාක වල කාලයකට පමණක් මල් දැකගත හැකි වර්ග වේ. විශේෂයෙන් සෙවණ අවශ්‍ය ස්ථාන සඳහා විශාල අතු විහිදෙන වර්ග තෝරා ගැනීම හා මාර්ග දෙපස ශාක සිටුවීමේදී ශක්තිමත් හා විශේෂිත ආරක්ෂිත ශාක තෝරා ගැනීම වැදගත් වේ.

විශාල ශාක සිටුවීමට ඉඩකඩක් ලබා ගැනීමට නොහැකි ගෙවත්තකට මධ්‍යම ප්‍රමාණයේ මල් පිපෙන ශාක තෝරා ගැනීමට හැකියාව ලැබේ. එමගින් අඩු ඉඩ කඩක ඉදිකිරීම් වලට හානියක් නොවන ලෙස ශාක තෝරා ගත හැක.

10 landscaping 03

උද්‍යාන ශාක භාවිතයේදී මල් පිපෙන වැල් වර්ග පිළිබඳ සැළකිලිමත් වීමද ඉතාම අවශ්‍ය වේ. ඒ සඳහා ආරුක්කු, මැසි, ඉදි කිරීම මගින් ගෙවත්තට ලැබෙන අලංකාරයත් ලැබෙන අතර ඉඩකඩ අනුව අවශ්‍ය වැල් වර්ගය තෝරා ගැනීම සුදුසු වේ.
භූමි අලංකරණය ශාක පිළිබඳ සඳහන් කිරීමේදී විවිධ වූ අවශ්‍යතාවන් මත ශාක තෝරා ගැනීමට හැකියාව ප්‍රගුණ කිරීම ඉතාම වැදගත් වේ. කප්පාදු කල හැකි වැටවල් සදහා ශාක, බිම් ආවරණ තෘණ වර්ග හා වෙනත් පැළෑටි, තාල වර්ගයේ ශාක, උණ ශාක වර්ග, මීවන ශාක, ජලජ පැළෑටි වැනි ශාක එකතුන් පිළිබඳ වැඩිදුරටත් අධ්‍යනය කිරීම උද්‍යාන නිර්මාණ ශිල්පියෙකුට ඉතාම අවශ්‍ය කාරණාවකි.

උද්‍යාන නිර්මාණ පිළිබඳ කරුණු දැක්වීමේදී ප්‍රධාන කාර්යයන් ත්‍රිත්වයක් පිළිබඳ සලකා බලයි. එනම් භූමි අලංකරණ සැලසුම් සැකසීම, සැලසුමට අනුව ක්‍රියාත්මක කිරීම හා උද්‍යාන නඩත්තුව යන කාරණා පිළිබඳ වඩාත් සැලකිලිමත් විය යුතුව ඇත. නිර්මාණ ශිල්පියාට නිර්මාණය පිළිබද තෘප්තිමත් වීම සඳහා එම සියලු කාරණාවන් හරිහැටි ඉටු වී තිබිය යුතුයි.

උද්‍යාන නඩත්තු කටයුතු පිළිබඳ සළකා බැලීමේදී අනවශ්‍ය වල් පැළෑටි ඉවත් කිරීම, ජල සම්පාදනය පසේ වාතාශ්‍රය දියුණු කිරීම, අවශ්‍යනම් පාංශු වැස්මවල් භාවිතය වැනි ශාකමය නඩත්තු කටයුතු පිළිබඳ අවධානය හා ශාක පෝෂණය සඳහා පොහොර භාවිතය, රෝග හා පළිබෝධ පාලනය වැනි සනීපාරක්ෂක ක්‍රම භාවිතය ශාක වගාවේදී ඉතා වැදගත් වේ.

උද්‍යාන නිර්මාණවල තෘණ පිටි සඳහා ලැබෙන්නේ ඉතා වැදගත් ස්ථානයකි. නිසි ආකාරයට තෘණ පිටිය සැකසීම හා ක්‍රමාණුකූලව තෘණ පිටිය නඩත්තු කිරීම තුළින් උද්‍යානයේ දැකුම්කලු භාවය පවත්වා ගත හැක. එසේම මල් පාත්ති වල හැඩයන් පවත්වා ගැනීම උද්‍යානයේ පදුරු කප්පාදු කර පවත්වා ගැනීම, වැනි ශාක නඩත්තු කටයුතු පිළිබඳ වඩාත් සැළකිලිමත් වීම ඉතා වැදගත් වේ.

උද්‍යානයේ ඇති විශාල ශාක වල දිරාගිය කොටස් හා අතු පිළිබඳ සැළකිලිමත් වීම උද්‍යාන නඩත්තු කටයුතු වලදී වැදගත් හා අත්‍යාවශ්‍ය කාරණාවකි. ශාකයේ මනා පැවැත්ම රැදී පවතින්නේ නිසි ආකාරයට කරන නඩත්තු කටයුතු තුළිනුයි.
මෙවැනි මෘදු උද්‍යාන නඩත්තු කටයුතු සේම උද්‍යාන පාරවල්, බංකු, පුටු, දිය ඇලි, පොකුණු, මල් බඳුන් වැනි දෘඪමය නිර්මාණ තුළද අවශ්‍ය නඩත්තු කටයුතු පිළිබඳ අවධානය යොමු කිරීමද වැදගත් කාරණාවකි.
උද්‍යාන නිර්මාණ ක්‍රමවේදය තුළ සියලු ක්‍රියාවන් ප්‍රායෝගිකව අධ්‍යාපනය කිරීම තුළින් මිනිසා ජීවත් වන පරිසරය සුන්දර වටපිටාවක් ලෙස පවත්වා ගනිමින් ස්වභාවික පරිසරයේ චමත්කාරය මිනිසා ජීවත් වන නිර්මිත පරිසරය තුළද පවත්වා ගැනීම අප සැමගේ වගකීමයි.

පී.ආර්. චමින්ද රත්නායක
කෘෂිකර්ම උපදේශක
මල් වගා හා උද්‍යාන අලංකරණ විදුහල
රාජකීය උද්භිද උද්‍යානය
පේරාදෙණිය.

Related Articles

රාජ්‍ය තොරතුරු මධ්‍යස්ථානය (GIC)

Visit Government Information Center - Sri Lanka

අප අමතන්න

Reach us තැ.පෙ. 65
ගැටඹේ, පේරාදෙණිය
ශ්‍රී ලංකාව
+94 812 388336