අලි ගම්වලට එනවද ? අලින්ගේ වාසස්ථාන වලට මිනිස්සු යනවද ?

ගෙදර ඔප්පුවයි, කනකර බඩු ටිකයි උකස් කරලා පටන් ගත්තු ගොවිතැන කොයි වෙලාවේ අලි රංචුව ඇවිත් විනාශ කරයිද කියලා බයෙන් ඉන්න අහිංසක මනුස්සයෙක් ගැන හිතන්න.     

කර්කෂ පොළොවේ, කුසගින්නට අහරක් නැතිව පිපාසාවට බොන්න වතුර පොදක් නැතිව කොයි වෙලේ වෙඩි පහරක් වදීවීදෝ බියෙන් ගමට එන වයසක අලියෙක් ගැන හිතන්න.

 "උදේ පාන්දර තාත්තත් එක්ක ඉස්කෝලෙට යන්න ගිය පුතාට අතර මඟදි අලියෙක් ගහලා"

 "අනේ! අලි අම්මයි, පැටියයි දෙන්නම ළිදේ වැටිලා මැරිලා..”

මිනිස්සු අලි මරන්නෙත්, අලි මිනිස්සු මරන්නෙත් තරහවකට හෝ වෛරයකට නෙවෙයි. මේ දෙපිරිසටම ඕන ජීවත් වෙන්න. දෙපාර්ශවයේම අවශ්‍යතා සම්පූර්ණ කර ගන්න. ඒත් කොහොමද?

මේ පසුගිය දින වලදී අලි සම්පත සුරැකීම වෙනුවෙන් FaceBook සමාජ මාධ්‍ය හරහා හුවමාරු වූ අදහස් කිහිපයක්.  වර්තමානය වන විට මෙලෙස අප එදිනෙදා භාවිතා කරන්නාවූ බොහෝ සන්නිවේදන මාධ්‍ය හරහා නිරන්තර අවධානය යොමු වන පැතිකඩකි අලි-මිනිස් ගැටුම. ඈත අතීතයේ සිටම එකම පරිසර පද්ධතියක වෙසෙමින් තම අවශ්‍යතා සාමුහිකව තෘප්ත කර ගත් අප දෙපිරිසට වර්තමානය වන විට එම තත්ත්වය තව දුරටත් රඳවා පවත්වා ගැනීමට අපොහොසත් වීම දෙපාර්ශවය අතර ගැටුමක් දක්වා වර්ධනය වීමට හේතුවක් වී ඇත. මෙහි උච්ඡතම අවස්ථාව වන්නේ මෙම ගැටුම හේතුවෙන් දෙපාර්ශවයේම ඉතා විශාල වශයෙන් සිදුවන ජීවිත හානියයි. ශ්‍රී ලංකා වන ජීවි දෙපාර්තමේන්තුවේ වාර්තා අනුව දළ වශයෙන් ගත් කළ වාර්ෂිකව අලි මරණ 272ක් වාර්තා වන අතර ඊට සාපේක්ෂව වාර්ෂිකව අලින් නිසා සිදුවන පුද්ගල මරණ සංඛ්‍යාව 71ත් 85ත් අතර ප්‍රමාණයක් ගනී (Department of Wildlife Conservation 2009,2010). තවද සංඛ්‍යා ලේඛන අනුව පොළොන්නරුව, නැගෙනහිර, අනුරාධපුර, දකුණ, වයඹ, ඌව යන වනජීවි කලාප වල ඉහළ මිනිස් මරණ ප්‍රතිශතයකුත් පොළොන්නරුව, නැගෙනහිර, අනුරාධපුර, ත්‍රිකුණාමලය, දකුණ, ඌව, වයඹ, වව්නියාව යන යන වනජීවි කලාප වල ඉහළ අලි මරණ ප්‍රතිශතයකුත් වාර්තා වේ. තවද කණගාටුවට කරුණක් වන්නේ අලි මරණ සිදු වන රටවල් අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන්ම පසුවීමයි. මෙලෙස සීඝ්‍ර ලෙස ඉහළ යන අලි මරණ නිසා අලි සම්පත ලොවට අහිමි වීමේ අවදානමක්ද පැන නැඟී ඇත. මීට හොඳම උදාහරණය වන්නේ මීට සියවසකට පෙර දක්නට ලැබුණු අලි උප විශේෂ පහ අතුරින් දැනට දක්නට ලැබෙන්නේ උප විශේෂ දෙකක් වීමයි (Deraniyagala,1955).

වසර 2000කට වඩා වූ ඈත අතීතයේ සිට අලියා හා මිනිසා අතර ඇති සබඳතාවය විවිධ කේෂත්‍ර ගණනාවක් ඔස්සේ දිවයන්නකි. පාරිසරික, සාමාජීය, සංස්කෘතික, ආගමික වශයෙන් ශ්‍රී ලංකාව තුළ අලියාට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. පසුගිය දශක කිහිපය පුරා ශ්‍රී ලංකාව තුළ සංචාරක ආකර්ෂණය දිනාගැනීමේ ප්‍රමුඛතාවය අලි සම්පතට හිමිව ඇත. මුළු මහත් ආසියාව තුළ ඔවුන්ගේ ස්වාභාවික පරිසරය  තුළම ජීවත්වන අලි ගහණය 51,000ක් 66,000 ත් අතර ප්‍රමාණයක් ගනී (Thennakoon.,2017) ඉන් සැළකිය යුතු අලි ප්‍රතිශතයක වාසස්ථානය වන්නේ ශ්‍රී ලංකාවයි. වර්තමානය වන විට ලොව පුරා ව්‍යාප්තව ඇති අලි විශේෂ තුනක් හඳුනාගෙන ඇත.

 

වගුව 01. ලොව පුරා ව්‍යාප්තව ඇති අලි විශේෂ

විශේෂය

විද්‍යාත්මක නාමය

ව්‍යාප්තිය

African bush Elephant

Loxodonta africana

අප්‍රිකානු රටවල් ආශ්‍රිතව ඇති සැවානා, තෘණ බිම් හා වනාන්තර ආශ්‍රිතව

African forest Elephant

Loxodonta cyclotis

බටහිර අප්‍රිකාවේ සහ කොංගෝ ද්‍රෝණියේ තෙත් වනාන්තර ආශ්‍රිතව

Asian Elephant

Elephas maximus

ඉන්දියාව, ශ්‍රී ලංකාව, නේපාලය, සුමාත්‍රා දූපත් හා බෝර්නියෝ දූපත් ආශ්‍රිතව

 

මේ අතරින් අප කතා බහට ලක් කරනු ලබන්නේ ශ්‍රී ලංකාව තුළ වෙසෙන ආසියාතික අලියායි (Elephas maximus). ශ්‍රී ලංකාව තුළ ප්‍රධාන වශයෙන් උඩ වලව ජාතික වනෝද්‍යානය , යාල ජාතික වනෝද්‍යානය, විල්පත්තු ජාතික වනෝද්‍යානය, මින්නේරිය ජාතික වනෝද්‍යානය ආදී වූ  ජාතික වනෝද්‍යානයන් හා අනෙකුත් රක්ෂිතද, අලි සුරක්ෂිතාගාර හා අලි අනාථාගාර තුළද අලීන් දැකගත හැක. එමෙන්ම ලෝක සංරක්ෂණ සංගමය සහ වඳවීමේ තර්ජනයට ලක්ව ඇති විශේෂවල ජාත්‍යාන්තර වෙළඳාම සඳහා වූ සම්මුතියෙහි (IUCN) රතු දත්ත ලයිස්තුවට වඳවීමේ තර්ජනයට (Endangered) මුහුණ පා ඇති විශේෂයක් ලෙස ද ඇතුළත් කර ඇත. ගොඩ බිම වෙසෙන විශාලම ක්ෂීරපායි සත්ත්වයා ලෙස හඳුන්වන අලියා මහා පරිමාණයේ ශාක භක්ෂකයෙක් ලෙස හඳුනා ගැනේ. දළ වශයෙන් 2,000-5,500 kg ත් අතර හොඳින් වැඩුණු සත්ත්වයෙකුගේ දෛනික ශාක පරිභෝජනය 150 kg ක් පමණ වේ (Nakandala et al.,2014) .මෙම අවශ්‍යතාව තමන් වෙසෙන පරිසරයෙන් තෘප්ත කර ගැනීමට සමත් නොවීම මත අලින් ගම් වැදීම හෙවත් කෘෂි කාර්මික පෙදෙස් ආක්‍රමණය කිරීමට පෙළඹීම සුලබ කරුණකි. තවද සත්ත්ව ලෝකයේ විශාල සංක්‍රමණික සත්ත්ව විශේෂයක් ලෙස හඳුනා ගැනෙන අලියා වාර්ෂිකව වර්ග කි.මී. 150-350 ත් අතර භූමි ප්‍රදේශයක සැරිසරයි. මෙලෙස තම ආහාර අවශ්‍යතා සපුරා ගැනීම සඳහා කෘෂි කාර්මික පෙදෙස් ආක්‍රමණය කරන අලින්ගෙන් දැඩිලෙස හානි සිදුවන වගාවන් ලෙස වී, උක්, බඩ ඉරිඟු, වට්ටක්කා, කෙසෙල්, පොල්, පැපොල් හැඳින්විය හැක. මෙහිදී ගොවින් මුහූණ දෙන ගැටළු ලෙස,

  • කෘෂි භෝග පැළ අවධියේම අලින් විසින් පරිභෝජනය කිරීමට අමතරව අලින්ට පෑගීමෙන්ද විනාශ වීම (ඡායාරූපය 1)
  • විශාල ප්‍රමාණයේ ගස් උදුරා දැමීම නිසා කේෂත්‍රයේ අනෙකුත් හෝග වලට පවා හානි සිදුවීම.
  • ගස් මුළුමනින්ම විනාශ කිරීම. උදා. පොල්, කෙසෙල් (ඡායාරූපය 2)
  • කෘෂි භෝග වලට අමතරව වගා කේෂත්‍රයේ බිම් සකස් කිරීම් වලට හා ජල සැපයුම් පද්ධතීන් වලට හානි සිදුකිරීම.
  • අස්වනු ගබඩා වලට කඩා වැදී අස්වනු පරිභෝජනය කිරීම. එක විට කේෂත්‍රයේ විශාල ප්‍රදේශයකට හානි සිදු කිරීම.යන හානි හඳුනා ගැනේ.

 

1 elephant 01   1 elephant 01
ඡායාරූපය (1) කුඹුරක ඇති අලි පා සටහන්
(මූලාශ්‍රය: https://www.researchgate.net)
  ඡායාරූපය (2) අලින් විසින් හානිකර ඇති වට්ටක්කා වගාවක්
(ඡායාරූපlrKh: මහාචාර්ය කේ. බී. රණවන )

 

මෙලස අලින් ගම් වැදීමට හෙවත් අලින් විසින් කෘෂිකාර්මික කේෂත්‍ර ආක්‍රමණය කිරීමට හේතු පහත පරිදි අවධාරණය කොට ඇත.

  • වාසස්ථාන අහිමි වීම.
  • ප්‍රමාණවත් ආහාර පාන තම වාසස්ථාන ඇසුරින් සපයා ගැනිමට අපහසු වීම.
  • ප්‍රමාණවත් හා තමන්ට රුචි ආහාර සපයා ගැනීමේ පහසුම මාර්ගය වීම.
  • අලි මංකඩවල් අවහිර වන ලෙස සිදුවන අවධිමත් සංවර්ධන ව්‍යාපෘති.
  • අවධිමත් කැළි කසළ බැහැර කිරීම් (ඡායාරූපය 3)

 

1 elephant 01   1 elephant 01
ඡායාරූපය ( 3): කැලි කසළ ආහාරයට ගැනීමට පැමිණ ඇති අලි රංචුවක්
(ඡායාරූප අනුග්‍රහය: මහාචාර්ය කේ. බී. රණවන)
  ඡායාරූපය ( 4) : සංචාරක රථයක් මඟින් අලින්ට ආහාර ලබාදෙන අවස්ථාවක්
(මූලාශ්‍රය: http://www.dailynews.lk)

 

මීට අමතරව මිනිසුන් විසින් ආහාර ලබා දීම නිසා පුරුදු වූ සාමාන්‍ය ව්‍යවහාරයේ  "කප්පම් අලි" ලෙස හඳුන්වන අලින් ඇතිවීමද අලින් ගම් වැදීමට හේතු වී ඇත (ඡායාරූපය 4). ඉහත කරුණු සැළකීමේදී පෙනී යන්නේ මෙම බොහෝ කරුණු මිනිසාගේ අත්තනෝමතික ක්‍රියා නිසාම සිදු වී ඇති බවයි. මහා පරිමාණයෙන් සිදුවන සංවර්ධන ක්‍රියාවන් නිසා ඉතා විශාල වශයෙන් සිදුවන වනාන්තර එළි පෙහෙළි කිරීම් (Deforestation) වලදී එම පරිසර පද්ධතියේ ජීවත්ව සිටි අලි, මිනිසා විසින් ආධිපත්‍ය දරන භූමි ප්‍රදේශ වල කුඩා ප්‍රමාණයේ වනාන්තර කුට්ටි වලට සීමා වීමට සිදුවේ. එවිට ආහාර සඳහා එකිනෙකා අතර ඇති වන්නාවූ  තරඟය නිසාම අලි ගහණයේ කිහිප දෙනෙකුට හෝ අලි රංචුවටම වෙනත් ආහාර බිම් සොයා යෑමට සිදුව එමෙන්ම එලෙස පැමිණෙන අලි ඇතුන් පලවා හැරීම සඳහා මිනිසා විසින් ගනු ලබන ක්‍රියා මාර්ග මත අලි -මිනිස් ගැටුම නිර්මාණය වීම සිදුවේ.

මෙලෙස ඇති වන්නාවූ  අලි -මිනිස් ගැටුම නිසා සිදුවන්නාවූ හානි ප්‍රධාන වශයෙන්

  • වගා හානි
  • දේපල හානි (ඡායාරූපය 5)
  • ජීවිත හානි ලෙස වර්|ග කර දැක්විය හැක.

1 elephant 01

ඡායාරූපය (5) : අලි ප්‍රහාරයකට ලක්වූ නිවෙසක්
(ඡායාරූප අනුග්‍රහය: මහාචාර්ය කේ. බී. රණවන)

 

අප දෙපිරිසේම  පාරිසරික අවශ්‍යතා සමාන වීම හා විශේෂ දෙකම එකම ප්‍රදේශයක ජීවත් වන විට මෙම දෙපාර්ශවය අතර ගැටුම් ඇති වීම නොවැළැක්විය හැකි හේතුවක් වී තිබේ. එම නිසා මෙම ගැටුම් වැළැක්වීමට හා අවම කිරීමට විවිධ ක්‍රියා මාර්ග ගනු ලබන අතර ඉන් ප්‍රධාන වශයෙන් සිදු කරනනේ අලින් ගම්වැදිම පාලනය කිරීමට කටයුතු කිරීමයි.

මේ අනුව දැනට ලංකාව තුළ වනජීවි සංරක්ෂණ මූලධර්ම අනුව අලින් ගම්වැදිම පාලනය කිරීමට ගන්නා ක්‍රියාමාර්ග ලෙස පහත ක්‍රියා මාර්ග ගනු ලැබේ.

  • රක්ෂිත වටා විදුලි වැට ඉදිකිරීම

දැනට අප රට තුළ වැඩි වශයෙන් ක්‍රියාත්මක වන්නකි. මෙහිදී සිදු වන්නේ 5000 v පමණ වෝල්ටීයතාවයක් 1/3000s ක තරම් කෙටි කාලයක් නිකුත් කර අලියාට යම් කම්පනයක් ලබා දීමයි (ඡායාරූපය 6). මෙමඟින් සිදු වන්නේ අලියාට මානසිකව බාධකයක් පමුණුවීමයි (Psychological barrier). එවිට අලියා පෙර ලැබුණු අත්දැකීම් මත එම අලි වැට පසුකිරීමට පසුගාමී වේ. නමුත් මෙම අලි වැට නිසියාකාරව ක්‍රියාත්මක වීමට නම් එහි

නඩත්තු කටයුතු නිසිපරිදි සිදුකළ යුතුයි. නැතහොත් සිදුවන්නේ අලි වැටේ දුර්වල ස්ථානයන් හරහා හෝ වැට කඩා බිඳ දමා හෝ අලියා මිනිස් වාසස්ථානයට ඇතුල් වීමයි. විශාල දැව කඳන් අලි වැට මතට දැමීම හා කකුලෙන් පාඟා අලි වැට කඩා බිඳ දැමීමට තරම් මෙම සතුන් බුද්ධිමත්ය (ඡායාරූපය 7). එමෙන්ම දළ ඇතුන්ගේ දළ යුගල විද්‍යුත් පරිවාරකයක් ලෙස ක්‍රියා කිරීම නිසා  අලි වැට දළ ඇතුන් පලවා හරින්නට එතරම් සාර්ථක ක්‍රමයක් නොවේ. මේ නිසා අලි වැට අද වන විට අකාර්යක්ෂම අලි පාලන ක්‍රම වේදයක් බවට පත්ව තිබේ .මීට අමතරව අප්‍රිකාව වැනි රටවල විශාල ප්‍රමාණයේ දැව කඳන් (ඡායාරූපය 8) හා ගල්  යොදාගෙන ඉදිකර ඇති වැටවල් (Log fences & Stone fences) හා වානේ කේබල් හා යකඩ පොලු යොදාගෙන සකස් කර ඇති   කම්බි වැටවල් (Wire fences)දක්නට ලැබෙන අතර  ලංකාව තුළ අවශ්‍ය හා ප්‍රමාණවත් සම්පත් නොමැතිකම නිසා එවැනි වැටවල් ඉඳිකිරීමක් දක්නට නොලැබේ.

 

1 elephant 01   1 elephant 01 1 elephant 01
ඡායාරූපය (6) : රක්ෂිතයක් වටා ඉදිකර ඇති අලි වැටක්
(ඡායාරූප අනුග්‍රහය: මහාචාර්ය කේ. බී. රණවන)
  ඡායාරූපය (7) : අලි වැට කඩා බිඳ දැමීමට උත්සහ කරන අලියෙක්
(මූලාශ්‍රය: https://akm-img-a> in.tosshub.com)
ඡායාරූපය (8) : දැව කඳන් යොදා සකස් කරන ලද අලි වැටක්
(මූලාශ්‍රය: https://akm-img-a> in.tosshub.com)

 

  • අලින්ගේ වාසස්ථාන සුපෝෂණය කිරීම

මෙහිදී සිදු වන්නේ අලින් වෙසෙන පරිසර පද්ධතිය තුළම ඔවුන්ගේ පැවැත්මට අවශ්‍ය තත්ත්ව (උදා: ආහාර,ජලය, සෞඛ්‍යය පහසුකම්) සපයා දීමයි. අලින්ගේ ප්‍රියතම තෘණ විශේෂයක් වන “Beru” (Hygroryza aristata)වැව් අශ්‍රිතව වගා කිරීම මීට නිදසුනකි. මේ මඟින් තමන් වෙසෙන පරිසරය තුළින්ම අවශ්‍යතා තෘප්ත කර කරගැනීමට ඇති හැකියාව නිසා අලින් කෘෂි කේෂත්‍ර හෝ ගම් වලට පැමිණිම සිදු නොවේ. නමුත් අධික වියදම් සහිත වීම හා නිසි පහසුකම් නොමැති වීම, අවශ්‍ය දැනුම අවම වීම මත මෙය ක්‍රියාත්මක කිරීමට අපහසු අලි පාලන ක්‍රමවේදයක් වී තිබේ.

  • අලි කළමණාකරණ රක්ෂිත ප්‍රකාශයට පත්කිරීම

උඩවලව, ලුණුගම්වෙහෙර හා බූන්දල ජාතික වනෝද්‍යාන සම්බන්ධ කර ගනිමින් අලි ඇතුන්ගේ සංක්‍රමණික රටාවන් හඳුනාගෙන හම්බන්තොට අලි-මිනිස් ගැටුම පාලනය කිරීම සඳහා වනාන්තර ප්‍රදේශ ජාල ගත කිරීමට යෝජනා කල හම්බන්තොට අලි කළමනාකරණ මධ්‍යස්ථානය මීට නිදසුනකි. 2009- 2011 වර්ෂ වලදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලුම රාජ්‍ය ආයතන හා ප්‍රදේශ වාසීන් එක්ව සංවිධානය  කල   “ගජ මිතුරෝ” වැඩසටහන මඟින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කල නමුත් අද වන විට එහිද යම් යම් ගැටළුකාරී තත්ත්වයන් ඇති වී ඇති බව වාර්තා වේ.

  • රක්ෂිත එකිනෙක යා කරන අලිමංකඩ නැවත ප්‍රතිස්ථාපනය කිරීම

අද වන විට ක්‍රියාත්මක වන අවිධිමත් හා මහා පරිමාණයේ සංවර්ධන ක්‍රියාවන් නිසා අලින් රක්ෂිත හරහා මාරු වන අලිමංකඩවල් බොහෝමයක් අවහිර වී ඇත. මේ නිසා අලින් වෙනත් මාර්ග හරහා ගමන් කිරීමට පුරුදු වීම මත අලි-මිනිස් ගැටුම් ඇති වීමට මඟ පාදයි. සංවර්ධන ව්‍යාපෘති වලදී අලිමංකඩවල් අවහිර නොවන ලෙස සැලසුම් කිරීමට  වගබලා ගැනීමෙන් මෙය මඟ හරවා ගත හැක. එසේ සිදු කිරීමට අපහසු අවස්ථාවලදී, විසඳුම් ලෙස සිංගප්පූරුව වැනි රටවල් අධිවේගී මාර්ග හරහා සතුන්ට ගමන් කිරීමට පරිසර නළ (Eco-ducts),හා පරිසර පාලම් (Eco bridges) හඳුන්වා දී ඇත (ඡායාරූපය 9). මෙය සංවර්ධන ව්‍යාපෘති වලට බාධාවක් නොවන එමෙන්ම සතුන්ගේ සොබාවික හැසිරීම් වලට ද බාධාවක් නොවන සාර්ථක ක්‍රමවේදයක් ලෙස හඳුනාගෙන ඇත. ශ්‍රී ලංකාවේද දක්ෂිණ අධිවේගී මාර්ගයේ අපරැක්ක ප්‍රදේශයේ මෙවැනි පාලමක් රුපියල් මිලියන 108.5 ක පිරිවැයක් යොදා ඉදිකර ඇත.

 

1 elephant 01   1 elephant 01
ඡායාරූපය (9.1): ඉන්දියාවේ අධිවේගී මාර්ග ආශ්‍රිතව ඉදිකර ඇති පරිසර පාලමක්
(මූලාශ්‍රය: https://www.technocrazed.com)
  ඡායාරූපය (9.2): සිංගප්පූරුවේ අධිවේගී මාර්ග ආශ්‍රිතව ඉදිකර ඇති පරිසර පාලමක්
(මූලාශ්‍රය: https://www.sg101.gov.sg/resources/connexionsg/ecolink)

 

  • අලින් පලවා හැරීම හා අලින් ගම් වැදීම අවම කිරීම

ශ්‍රී ලංකාව තුළ බහුල වශයෙන් අලින් පලවා හැරීම සඳහා ක්‍රමවේදයන් ලෙස අලි වෙඩි හෝ රතිඤාඤා පත්තු කිරීමෙන් විශාල ශබ්ද නිකුත් කිරීම. පටිගත කරන ලද ශබ්දයන් (මිනිස් ඝෝෂාවන්, වෙඩි ශබ්ද) ශබ්ද වාහිනී යන්ත්‍ර හරහා ප්‍රචාරය කිරීම (Wijayagunawardane et al .,2016)රාත්‍රී කාලයේදී නිවෙස් හා කෘෂි කේෂත්‍ර අවට ගිණි මැල දැල්වීම (ඡායාරූපය 10) මිරිස් කරල්, මිරිස් ඇට, ගොම පිළිස්සීම මඟින් අමිහිරි ගන්ධයන් නිකුත් කිරීම,පැල් රැකීම හා වායු රයිපල භාවිතා කිරීම ප්‍රාදේශිය වශයෙන් භාවිතා වන උපක්‍රමයන් වේ.

1 elephant 01

ඡායාරූපය (10): ගිණි මැල දැල්වීම මඟින් අලි පලවා හැරීම
(මූලාශ්‍රය: https://petapixel.com)

 

  • ජීව විද්‍යාත්මත වැටවල් ඉඳිකිරීම

මෙයද පරිසර හිතකාමී අලි පාලන ක්‍රමයකි. මෙහිදී සිදුවන්නේ අලින් ප්‍රිය නොකරන හා  අමිහිරි ගන්ධයන් නිකුත් කරන පැළෑටි අදාල කෘෂි කේෂත්‍රය අවට සිටුවීමයි (ඡායාරූපය 11). මෙහිදී කටු සහිත පඳූරුමය ශාක (උදා. පැඟිරි කුලයේ ශාක, හණ, පතොක්, බෝගන්විලා) ප්‍රධාන කෘෂි භෝගයෙනි කි.මී ගණනාවකට දුරින් විශාල පරිමාණයෙන් අලින්ගේ ගමනාගමනයට බාධා ඇතිවන අයුරින් සිටුවිය යුතුයි. නමුත් මෙයද ප්‍රායෝගිකව ක්‍රියා කිරීමට අපහසු නිසා එතරම් සාර්ථක අයුරින් සිදුනොවේ.

 

1 elephant 01   1 elephant 01
ඡායාරූපය (11): ජීව විද්‍යාත්මත වැටවල්
(මූලාශ්‍රය: https://upload.wikimedia.org , https://ichef.bbci.co.uk)
  ඡායාරූපය (11): ජීව විද්‍යාත්මත වැටවල්
(මූලාශ්‍රය: https://upload.wikimedia.org , https://ichef.bbci.co.uk)

 

 මීට අමතරව  කෘෂිකර්මාන්තයේදී අලින් ප්‍රිය නොකරන බෝග වගාවන් වලට යොමු වීමද (උදා. තේ, කෝපි, මිරිස්) ගොවියන්ට යම් අකාරයක සහනය ගෙන දෙන්නක් වුවද සෑම ප්‍රදේශයකටම උචිත නොවීම,පාරිසරික සාධක, ප්‍රාග්ධනය, දැනුම හා ආකල්පමය තත්ත්වයන් නිසා එයද ප්‍රායෝගික වශයෙන් සිදුනොවන ක්‍රියාදාමයකි.

 

  • අලි අඟල් නිර්මාණය කිරීම (Elephant Trenches)

අලින්ට එය හරහා ගමන් කිරීමට තරම් පුළුල් නොවන, අලියාගේ ප්‍රමාණයට වඩා පටු  අඟල් නිර්මාණය මඟින් අලින්ගේ ගමනාගමනයට බාධා පමුණුවීම මෙහිදී සිදු කරයි.

1 elephant 01

ඡායාරූපය (12) : අලි අඟලක්
(මූලාශ්‍රය: http://ecotrendsalliance.org)

 

  • නවීන තාක්ෂණයන් භාවිතා කිරීම

වර්තමානයේදි තාක්ෂණික මෙවලම් භාවිතා කිරීම මඟින් අලින් ස්ථාන ගත වී ඇති ප්‍රදේශ හඳූනා ගැනීමට කටයුතු කරනු ලැබේ. මෙමඟින් අලි සංචරණ රටා හඳූනා ගැනීම සඳහා  ගෝලීය ස්ථාන ගත කිරීමේ පද්ධති (GPS) සහිත කරපටි අලින්ට පළඳවා නිරන්තර පරීක්ෂා කිරීම් වලට ලක් කරනු ලැබේ. අනෙකුත් නවීන තාක්ෂණික ක්‍රම හමුවේ ලාභදායීම ක්‍රමය මෙය වන අතර අළුත ඉපදෙන අලි පැටවුන්ට පවා මෙම කරපටි පැළඳවීම සිදුකළ යුතු නිසා නිරන්තරයෙන් කේෂත්‍රයේ සිට අලින් පරීක්ෂා කිරීම සිදුකළ යුතුයි. මෙමඟින් අලි සංක්‍රමණික රටා, අලි ගහණයේ වර්ධනය ආදී බොහෝ තොරතුරු රැස් කර ගත හැකි වීම නිසා අලි-මිනිස් ගැටීම් පාලනය කිරීමට ගතහැකි සාර්ථක ක්‍රමවේදයක් ලෙස යෝජනා කළ හැකිය.

  • තාවකාලික කුඹුරු වැට

වී වගාවේ ආරක්ෂාවට හඳුන්වා දුන් තාවකාලික කුඹුරු වැට සංකල්පයද අලින්ගෙන්  වී වගාවට වන හානිය අවම කර ගැනීමට යොදාගත් ක්‍රමයකි. අස්වනු නෙලීමෙන් පසු තාවකාලික කුඹුරු වැට (මෙහිදී බොහෝ විට යොදා ගැනෙන්නේ විදුලි වැටකි) ගලවා ඉවත් කිරීම නිසා අලින්ට එම ප්‍රදේශ ගොදුරු බිම් (Feeding grounds)ලෙස යොදා ගත හැකිය. එවිට අලින් ගම් වලට වැදීම අවම වන අතර වෙනත් කෘෂී කේෂත්‍ර වලට ඇදීයාම ද අවම වේ.

තවද මෑත කාලයේදී  මී මැස්සන්ල වැටක් ලෙස යොදා ගෙන අලින් පාලනය කිරීමට සිදු කළ උත්සහයේදී උඩවලව ජාතික වනෝද්‍යානයේ අලින් 120ක පමණ නියැඳියක් තෝරාගෙන ඔවුනට කෝපාවිශ්ට වූ ආසියානු මී මැස්සන්ගේ නාදය පටිගත කර අසන්නට සලසන ලදී. මේ අවස්ථාවේදී ගස් යට විවේකි සුවයෙන් පසු වූ අලි එකවරම පැමිණි එම ශබ්දයෙන් කලබල වී හිස් ලූ අත දිව ගිය බව වාර්තා වේ (King et al.,2018). නමුත් පසු කාලීනව පර්යේෂකයන් පිරිසක් පෙන්වා දුන්නේ මී මැස්සන් මඟින් ආසියානු අලින් බියගැන්වීමට හැකියාවක් ඇතැයි යන මතය මිත්‍යාවක් බවයි. මෙම පර්යේෂණයේදී A.mellifera හා A.cerana යන විශේෂ වල මී මැස්සන්ගේ අඩංගු මී වඳ පෙට්ටි අලි ප්‍රවේශ හරහා ඉදිකර පර්යේෂණ සිදු කළ අතර එහිදී නිරීක්ෂණය වූයේ අලින්ගේ 51% ක ප්‍රතිශතයක් කිසිදු චකිතයකින් තොරව මෙම මී වඳ නඩත්තු  පසු කර ගිය බවත් ඉන්පසු අවස්ථාවලදී එම ප්‍රතිශතය තවත් ඉහළ ගිය බවත්ය (Dror et al.,2020)

  • පාලනය කිරීමට අපහසු අලින් වෙනත් සුදුසු ස්ථානයක ස්ථාකලත කිරීම (Translocation of problem animals)

විවිධ උපක්‍රම භාවිතාකොට අලින් රක්ෂිත වලට එලවා දැමීම මෙන්ම අලි සුරක්ෂිතාගාර හා අලි අනාථාගාර වලට ගෙනවිත් දැමීම මෙලෙස හැඳින්විය හැක. උඩවලව ඇත් අතුරු සෙවන හා පින්නවල අලි අනාථාගාරය එවැනි අලින් රුක බලා ගන්නා ස්ථාන වලට නිදසුන්ය. මෙම ස්ථාන වලදී අලින්ට අවශ්‍ය ආහාර පාන,සෞඛ්‍ය පහසුකම් ලබාදී අලින් රැක බලා ගැනීම සිදු කරයි. නමුත් විශේෂ අවශ්‍යතා සහිත, අබාධිත තත්ත්වයේ පසුවන අලි, ඇතුන් විනා තම සොබාවික පරිසරයේ වෙසෙන අලි, ඇතුන් මෙලෙස කෘතීමව සකස් කල ස්ථානයන්ට ගෙනැවිත් රැක බලා ගැනීමට අවශ්‍ය නොවේ. නමුත් අලින්ට හානි නොවන ක්‍රියා මාර්ග මඟින් අලින් වෙනත් රක්ෂිත වලට පලවා හැරීම කාලෝචිතය.

මේ අනුව පැහැදිලි වන්නේ අලින් පලවා හැරීම හෝ ගම් වැදීම පාලනය කිරීමට එකම ක්‍රියා මාර්ගයක් අනුගමනය කිරීමට වඩා ක්‍රම කිහිපයකින් යුත් මිශ්‍ර ක්‍රමවේදයක් භාවිතා කිරීම වඩාත් උචිත බවයි. කෙසේ වෙතත් ජන මාධය හරහා දැන ගැනීමට ලැබෙන්නේ  අලි මරණ දිනෙන් දින උග්‍රවෙමින් පවතින බවයි. සොබාවික හේතුන්වලට අමතරව වගා ලිං වලට ඇඳ වැටීම්, දුම්රියේ ගැටීම් (ඡායාරූපය 13) වැනි හේතුන් නිසාද, වෙඩි තබා මරා දැමීම් (වගාවන් ආරක්ෂා කර ගානීමට හා දළ ලබා ගැනීමට) මිනිසා විසින් වස දීම හා හක්ක පටස් භාවිතා කිරීම (ඡායාරූපය 14) වැනි අමානුෂික ක්‍රියාවන් නිසාද සැළකිය යුතු අලි මරණ සංඛ්‍යාවක් සිදුවේ.

 

1 elephant 01   1 elephant 01
ඡායාරූපය (13) : දුම්රියක ගැටුනු අලියෙක්
(ඡායාරූප අනුග්‍රහය: මහාචාර්ය කේ. බී. රණවන)
  ඡායාරූපය (14) : හක්ක පටස් නිසා මරණයට පත් අලියෙක්
මූලාශ්‍රය: (https://mahooraluxurysafarissrilanka.files.wordpress.com)

 

මෙලස සිදුවන අලි මරණ අවම කර ගැනිම සඳහා විවිධ රටවල් විවිධ ක්‍රියාමාර්ග අත්හදා බලනු ලැබේ. නිදසුන් ලෙස  අසාම් හා බටහිර බෙංගාලයේ දුම්රිය මාර්ග අසල අලි සංචරණ හඳුනා ගැනීම සඳහා ජෛව ධ්වනි පාදක සංවේදක (Bio-acoustic based sensors) සවිකරනු ලැබීය. මෙමඟින් අලින්ගේ චලන නිසා හට ගන්නා ශබ්දයන් නිරීක්ෂණය කර දුම්රිය පාලක මද්‍යස්ථානයට දැනුම් දෙන ලදී. එමඟින් රියදුරන් දසදෙනකුට අලින් දුම්රියේ ගැටීමෙන් සිදුවීමට තිබූ අනතුරු වළක්වා ගැනීමට හැකි වූ බව වාර්තා වේ. 

කෙසේ වෙතත් මේ සියල්ල අධ්‍යයනය කිරීමේදී පැහැදිලි වන්නේ අලි-මිනිස් ගැටුමට යල් පැන ගිය, කෙටි කාලීන විසඳුම් නොව වඩාත් යාවත්කාලීන හා විද්‍යාත්මක වශයෙන් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි ආකාරයේ විසඳුම් සෙවිය යුතු කාලයක් පැමිණ ඇති බවයි. විශේෂයෙන්ම මේ සඳහා රාජ්‍ය අනුග්‍රහයත් විශේෂඥ දැනුමත් දේශපාලනික මැදිහත් වීමකින් තොරව අලින්ගේත් අසරණ මින්සුන්ගෙත් සුභ සිද්ධිය උදෙසා ලබාදිය යුතු කාල වකවානුවක් එළඹ ඇත. තම පෞද්ගලික ලාභ අපේක්ෂාවන් හා පරමාර්ථ ඉවතලා දිනෙන් දින ඔඩු දුවන මෙම ගැටළුවට ස්ථිරසාර විසඳුමක් ලබා දීමට අපොහොසත් වුවහොත් මෙම අලි සම්පත අප භූමියෙන් වඳ වී යන දිනය වැඩි ඈතක නොවනු ඇත.

 

1 elephant 16

 

බී.ඒ.පී චාමිණී ප්‍රේමතිලක
මහාචාර්|ය කේ.බී. රණවන
සත්ත්ව විද්‍යා දෙපාර්තමේන්තුව
විද්‍යා පීඨය
පේරාදෙණිය විශ්ව විද්‍යාලය

 

Related Articles

රාජ්‍ය තොරතුරු මධ්‍යස්ථානය (GIC)

Visit Government Information Center - Sri Lanka

අප අමතන්න

Reach us තැ.පෙ. 65
ගැටඹේ, පේරාදෙණිය
ශ්‍රී ලංකාව
+94 812 388336